The title of the page
6.9
71

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය නිසා ආබාධිත තත්වයට පත්වුනු විශ්‍රාමික සොල්දාදුවෙකි. ගෞරි කුන්ජම්මාගේ නිවසේ නවාතැන් ගන්නා ඔහු රාජකාරි කටයුතු අරඹයි. දෙවන මහා ලෝක යුද්ධය ඇරඹීමට පෙරදී සුභ නිමිත්තක් ලෙස ගම්වැසියන් දුටු ඔවුන්ගේ ‘පෝස්මාන්’, යුද්ධයේ විකාශනයත් සමග මුහුණ දෙන පෙරළිය කෙලෙසක වේවිද?

ඔබ බොහෝ දෙනෙක් නිසැකවම නරඹා ඇති ඔට්ටාල් නම් මලයාලම් සිනමා පටයේ නිමැවුම්කරු වන ප්‍රවීන චිත්‍රපටි අධ්‍යක්ෂක ජයරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද භයානකම් චිත්‍රපටිය ජාතික සිනමා සම්මාන(National Film Awards) තුනක් දිනා ඇති සම්මානනීය චිත්‍රපටියක්.

සිවසන්කර පිල්ලෛ නමැති මලයාලම් ගත්කතුතුමා විසින් පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයේ ඔහු ලැබූ අත්දැකීම් ඇසුරෙන් 1978 වසරේ රචනා කරන ලද කයාර් නම් සම්මානනීය නවකතාවේ පරිඡේද කිහිපයක් ඇසුරින් භයානකම් චිත්‍රපටියේ පිටපත රචනා කර තිබෙනවා. දෙවන ලෝක යුද්ධය ඇරඹීමට පෙර සහ ආරම්භයෙන් පසුව ඇති වන ව්‍යකූල කාලය පිලිබඳව මෙහි කියැවෙනවා. මේ චිත්‍රපටිය වෙනුවෙන් Best Director සහ Best adopted screenplay යන අංශ ද්විත්වය වෙනුවෙන් ජාතික සම්මාන දිනාගැනීමට ජයරාජ් සමත් වුනා.

මේ චිත්‍රපටිය සඳහා පසුබිම් වන්නේ ‘කේරළයේ සහල් නැලිය’ යනුවෙන්ද හඳුන්වන සුන්දර කුට්ටනාද් ප්‍රදේශයයි. මලයාලම් සිනමා රසිකයින් ලෙස ඔබ දන්නවා ඇති කුට්ටනාද් යනු කෙතරම් නම් රමණීය ප්‍රදේශයක්ද යන වග. පම්බා ගංගාවෙන් සහ එය ආශ්‍රිතව පෝෂණය වන කුඩා අතු ගංගා සහ වැව් රාශියකින්ද ඇසට පෙනෙන තෙක් මානයට විසිරී ඇති නිල්වන් ගොයමින් පිරි කුඹුරු යායවල්ද කුට්ටනාද් ප්‍රදේශය වෙත එක් කරන්නේ වචනයෙන් විස්තර කල නොහැකි සුන්දරත්වයක්. එසේම වාර්ශිකව පැවැත්වෙන බෝට්ටු තරඟ සඳහාද කුට්ටනාද් චිරප්‍රසිද්ධයි.

මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සඳහා, එනම් ‘පෝස්මාන්’ ලෙස රංගනයෙන් එකතු වන්නේ ප්‍රවීණ නළුවකු වන Renji Panicker. ඔහුගේ රංගනය අතිවිශිෂ්ඨ බවයි පැවසීමට තිබෙන්නේ. අය අද්විතීය,අග්‍රගණ්‍ය රංගනයක්. ඔහු තම අහිබැමේ සිට දෙපතුල් දක්වා මුලු ශරීරයම තම අංගනය වෙනුවෙන් ඒකාත්මික කරවනවා. පළමු ලෝක මහා යුද්ධයේ අඳුරු බියකරු සෙවණැලි වලින් පීඩා විඳින විශ්‍රාමික ආබාධිත සොල්දාදුවෙක් ලෙස එම චරිතය තුළ දෙපැයක් ජීවත් වෙනවා. ප්‍රේමාන්විත විය යුතු අවස්ථාවකදී පවා ඔහුගේ දෑසේ රැඳී තිබුණු භීතිය ප්‍රේක්ෂකයා මවිතයට පත්කරන සුලුයි. එය ප්‍රේමයට ඇති භීතියක් නොව තමා ලද අත්දැකීම් නිසා වෙනස් වුනු ජීවන දර්ශන හේතුවෙන් ඔහුගේ චිත්ත අභ්‍යන්තරය තුලින්ම පැනනගින භීතියක්.

නිසැකවම මෙය ඔහුගේ රංගන ජීවිතයේ කූඨප්‍රාප්තිය විය යුතුයි. අත්දැකීම් බහුල නළුවෙකුට ඒ අත්දැකීම් තුළින් තම රංගන ජීවිතය කෙතරම් ඉහළ මට්ටමකට ඔසවා තැබිය හැකිද යන්නට ඔහු ජීවමාන උදාහරණයක් සපයනවා.

Renji Panicker පසෙකින් මෙම සිනමාපටය සඳහා ජීව ප්‍රාණය පිඹිනු ලබන්නේ
ආශා සරත්. ගෞරි කුන්ජම්මා ලෙස ඇය නිරූපණය කරන චරිතය ඉතා සිත්අදනා ගතියෙන් යුක්තයි. මා අවසන් වරට නැරඹූ මම්මූක්කාගේ චිත්‍රපටි ද්විත්වයේම ඇය මම්මූක්කා සමග අපූරු රංගනයක නියැලුනා.
Drishyam(මලයාලම්), Drishya(කණ්නඩ), Papanasam(දමිළ)
චිත්‍රපටි ත්‍රිත්වයේම පොලිස් නිලධාරිනිය ලෙස රඟපෑවා. එසේම ඔබ කාගේත් සිත් ගත් Anuraga Karikkin Vellam චිත්‍රපටියේ සුමා ලෙස බිජූ මෙනන් සමග රිදී තිරය බෙදාගත්තේද ඇයයි.

රූමත් ගෞරි කුන්ජම්මා ධනාත්මකව සිතන තැනැත්තියක්. ඇය සෑම දෙයකම සුභවාදී පැත්ත දකිනවා. ඇය ප්‍රේමාන්විතයි. එසේම තම නිවසේ නවාතැන් ගත් පෝස්මාන්ට ඇයගේ සිත ඇදී යනවා. ඔවුන් දෙදෙනාටම පොදු සමානත්වයක් තිබෙනවා. ඒ යුද්ධයයි!
පෝස්මාන් විශ්‍රාමික යුධ සෙබලෙක්. ගෞරි කුන්ජම්මාගේ පුතුන් දෙදෙනාම සෙබලුන් ලෙස යුධ පෙරමුණට ගිහින්. ඉතින් යුද්ධය ගැනත්,යුධ පෙරමුණ ගැනත් ඇයට ඔහුගෙන් අසා දැනගැනීමට බොහෝ දේවල් තිබෙනවා. ඇය වෙත ඇදී යන්නේ පෝස්මාන්ගේ සිතම පමණක්ම නොවෙයි. මුලු ප්‍රේක්ෂකාගාරයම තමන් වෙත ඇද ගැනීමට ඇය සමත් වෙනවා.
කෙටියෙන් පැවසුවහොත් මෙම චිත්‍රපටියේ ආලෝකය ඇයයි.

භයානකම් චිත්‍රපටියේ දක්නට ලැබෙන සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි සිනමාකරණය යි. Best Cinematography සඳහා ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමෙන්ම එය මනාව තහවුරු වෙනවා. කැමරාව හසුරුවා ඇති ආකාරය අතිවිශිෂ්ඨයි. නිඛිල් S. ප්‍රවීන්ට ලැබුනේ ලැබිය යුතුම ජාතික සම්මානයක්. චිත්‍රපටියේ ඇති සිද්ධි සහ හැඟීම් සමග පරිසර සංකේත මනාව මුසු කර තිබෙනවා. එය ඔබ අනිවාර්යයෙන්ම විඳිය යුතුම අත්දැකීමක් බව වගකීමෙන් පවසන්නට කැමතියි.එසේම මෙම චිත්‍රපටියේ වර්ණ භාවිතාව පිළිබඳද ඔබේ අවධානය යොමු කළ යුතුයි. හැඟීම් සමග මිනිසා තුළ සිදුවන මානසික අරගලය වර්ණ සංකලනය හරහා තිරය තමට ගෙන එනු ලැබ තිබෙනවා. එය විශිෂ්ඨයි.

පසුබිම් සංගීතය ඉතා මෘදුයි සහ සෞම්‍යයි. එමගින් චිත්‍රපට කතාවේ ගලායෑමට මනාව පිටුවහලක් සපයනවා.සියලු අතින්ම පරිපූර්ණ චිත්‍රපටියක් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.භයානකම් යනු එවැනි චිත්‍රපටියකට උදාහරණයක්. එය ප්‍රේමය ප්‍රමුඛ සියලුම මානුෂීය ගුණාංග එක්කර තැනූ සූපයක්. එය එක්තැනකදී ඔබේ හදවත සසලකර දෑස කඳුලින් පුරවාලීමට සමත් වේවි. තවත් තැනකදී මුවට මඳ සිනාවක් නගාදේවි. චිත්‍රපටිය නරඹන විට කරුණාකර ආරම්භයේ සිට අවසාන නාමාවලියත් ඉවර වෙන තුරුම නරඹන්න.

යුද්ධය යනු අපටද ආගන්තුක යමක් නොවෙයි. නමුත් මෙහි එන යුද්ධය සිදුවන්නේ එක්දාස් නවසිය තිස්ගණන් වලදියි. එනම් ටෙලිග්‍රෑමයක් යනු මරණයේ පණිවිඩයක් යැයි මිනිසුන් සිතා සිටි සමයකයි. එසේම දෙවන ලෝක යුද්ධයෙන් කුට්ටනාද් ප්‍රශ්නයක් තරුණයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුනා.

අද වනවිට අපි නැවතත් එක්තරා ආකාරයක යුද්ධයකට මුහුණ දෙමින් සිටිනවා. එය මෙතෙක් අප දැන සිටි යුද්ධ වලට වඩා වෙනස්. තෙවන මහා ලෝක යුද්ධය නම් මෙයින් දිවිරැක ගැනීමට කරන අරගලය ලෙස හැඳින්වීමත් වරදක් නැහැ. මම මේ උපසිරැසියේ 694 වන පේලිය සකසමින් සිටින විට කොරෝනා රෝගය නිසා ප්‍රතිකාර ලබමින් සිටි හැට හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු මියගිය බව රූපවාහිනියේ පවසනු ඇසුනා. එවිට වෙලාව රාත්‍රී 8.11, දිනය මාර්තු 28.
එය බරපතල වේදනාවක් දැනුනු පුවතක්.
එසේ මියගිය මහත්මයාට ඔහු අදහන ආගමක් අනුව ලැබිය යුතු සියලු සැපත ලැබේවා🙏

කරුණාකර ගෙදර ඉන්න, අපි ඔබට චිත්‍රපටි බලන්න සිංහල උපසිරැසි දෙන්නම්🙏🙏🙏
ඔබේ මරණ සහතිකය ඔබම ලියාගන්නට එපා.
හැකි වුනොත් ඊළඟ උපසිරැසියෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝවන්🙏🙏

ස්තුතිය සිනෙරෑ උපසිරැසි කණ්ඩායමේ සියලුම ⁣සොයුරු සොයුරියන්ට. මේක ටීම් වර්ක් එකක්❤️

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉන්දීවරි හේරත් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉන්දීවරි හේරත්

October 25, 2019


9
Total Subtitles

5 comments

  1. Ayyappanum koushiyum maalayalam movie 1tath sub ooni

  2. Thanks saho digatama sub denna

  3. Singankutti a.d. Lalani Maduwanthi

    Thank you

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි

  5. oyla hamotama bususaranai devipihitai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login